චිංචි බිළාල ජාතකය

 

ජනාධිපතිතුමා, අගමැති හා  සෙසු   ඇමති  ගණයා පිරිවරා ගෙන රාජ්‍යය ආරක්ෂාව සම්බන්ධව බැරෑරුම් සාකච්ඡාවක යෙදී සිටින්නෝය. එක්වරම අගමැතිවරයා වෙත දිව ආ රැකවලෙක් හදිසි රහස් පණිවිඩයක් ඇතැයිජංගම දුර බණනය අගමැතිගේ කනට ළං කළේය. පණිවිඩය ඇසූ අගමැතිතුමාගේ දෑස් මලානිකව, ගත දහදියෙන් තෙත්ව, පුටුව මතම ඇද වැටුණේය. සියල්ලෝම අගමැතිවරයා දෙසට ළං ව පුටුව මත්තෙහි සයනය කරන ඔහුගේ දේහය දෙස බලා සිටින්නට වන්නෝය.

ජී එස් පී සහනය  අහෝසි කළ පණිවුඩය  වන්නට ඇතැයි විදේශ ඇමතිවරයා කල්පනා කළාය.

සහරාන්ගේ බිරිය සඟවා සිටි තැනින් පලාගිය පණිවුඩය  වන්නට ඇතැයි  පොලිසි ඇමතිවරයා කල්පනා කළාය.

පාස්කු කොමිසන් වාර්තා වේ අස්ථානගත වී යයි  සැලකූ පිටු ජනතාව අතරට ගියා වත් දැයි වෙළඳ ඇමතිවරයාගේ  ගත සලිත වී ගියේය.

 වහාම  එහි පැමිණි රාජකීය වෛද්‍යවරයා අගමැතිතුමාගේ දෑස්, නාඩි, පපුව ආදීය පරීක්ෂාකර බලා, බය ගන්නට කාරණාවක් නැතැයි කියා රැස්ව සිටි පිරිස අස්වසා ලීය .ඒ ඇසූ සියල්ලෝ ම සතුටු සිනා දැක්වූහ. නාමලුන් ගේ මුහුණෙහි සිනාවක් මතුව  සිනා ගැන්වූ මුහුණ යලි කළු වී වියළී මැලවී ගියේය.

කුමන පණිවිඩයක් නිසා බියට පත්වූ දැයි අගමැති ළඟ ජනාධිපතිතුමා විමසා සිටියේය

චිංචි  පුතුගේ බිළාලයා ආගිය අතක් නැතැයි අගමැති තුමා මහ හඬින් හඬන්නට වන්නේ ය.

හැඬුම විලාපය ක ට හැරුණේය. ආගිය අතක්  නැතිව ගිය සිය සැමියා සොයා යන ගැහැනියකගේ  විලාපය ට වඩා බලවත්ය .තරුණ දරුවන් එකොළොස් දෙනෙකු මරා ,ඒ දරුවන්ගේ මලමිනී මුහුදෙ ඔබ්බවා යයි ඇසූ කලෙක දෙමව්පියන්ගේ සිත්සතන් තුළ ඇතිවෙන විලාපය ක ට  වඩා  තීව්‍ර විය .හිසට උලකින්  ඇන  මරාදැමූ සිය  පියාගේ දේහය දැක හඬන දියණියකගේ විලාපය ද පසුබා සිටියේය.

රහස් සාකච්චා ව අතර මඟ නවතා  ජනපති අගමැති හා මැති ඇමති කැල වහාම රජගෙදර බලා පිටත් වූහ .රජමාලිග අංගනය,  වීදි හා අවට උයන් වතු රථවාහන වලින් පිරී පැවතියේය. තිවිධ හමුදාව සීරුවෙන් සිටිමින් බිලාල මෙහෙයුමට අණ ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය.

බිළාලයා සොයා දුන් කෙනෙකුට විදෙස් රටක තානාපතිකමක්   තෑගි දෙන බව දන්වා  ආරංචිය ජනමාධ්‍යයන් තුලින් විකාශය කරන ලෙසට ලෙස ලෙස ආඥාවක් ලැබිණ  .

ඒ වන විටද රජගෙදරට රැස්ව සිටී  රූපවාහිනී සභාපති, ගුවන් විදුලියේ සභාපති, පුවත්පත් කර්තෘවරු සහ උප කර්තෘවරු ආරංචිය විකාශය නොකරම  බිළාලයා  සොයන්නට පිටත් වී ගියහ.

 බිළාලයා  සොයා නොදුන්නේ  වී නම් තමන් දිවි තොරකර ගන්නා බව කියමින් චිංචි  පුතු    හඬන්නට වන්නේය .  චිංචි පුතුගේ දිවි තොර කරගන්නා ආරංචිය ඇසූ නාමලුන් රාජ පුරුෂයන්  වෙත ළං ව  නැති වූ බිළාලයා සොයා එතරම්ම දුරකට යෑම අත්‍යවශ්‍යය නො වන බවට දෙවන ආඥාවක් නිකුත් කළේය .

විදේශ ඇමති තුමා යුහුසුලුව   සිය  කාර්යාලය බලා පිටත්ව ගියේ  බිළාලයා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම සඳහාය.

සියලු ගීත රචකයෝ එක්ව බිළාල වියෝව නමින් ගීතයක් රචනා කළේය .වීරසිංහයන්ගේ තනුවක ට භාග්‍ය ගැයූ ගීතයක් ජනමාධ්‍ය තුළින් ඇසෙන්නට විය. අගමැතිට  හිතැති නළු නිළි කැල  එක්ව බිළාලයා පිලිබඳ චිත්‍රපටයක්  තැනීම සඳහා මුහුරත් උළෙලක් පැවැත් විය .වහා ක්‍රියාත්මක වූ රහස් පොලිස් නිලධාරීන්  බිළාලයා ගේ අතුරුදන් වීම  පිළිබඳ අවට වෙසෙන බිලාලයින් ගේ කටඋත්තර ලබා ගත්තේය.

බිළාලයා ළඟින් ඇසුරු කළ එක් බිළාල ලියක මෙසේ පවසා තිබුණි. දින තුනකට පෙර ද බිළාලයා මා සොයාගෙන ආවා . හරිම කණගාටුවෙන් තමා හිටියේ මා එක්ක වුණත් ඒ තරම්ම කතාබහ කළේ නෑ. මේ විදිහට දිගටම නෑවොත් මටත් යන එන මං නැති වෙනවා.  මීගමුවෙන්  පිටත් වෙන මාළු බෝට්ටුවක් වත් අල්ලා ගන්නට මමත් යනවාකියා යන්ට ගියා.

Comments

Popular posts from this blog