බොරුව

 

බොරුව කවදා කෙදිනක උපන්නේ දැයි කිව නොහැක. සමහර විට එය පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එලියට පැන මිනිසුන් අතර සැඟ වී සිටිනවා ඇත . තහනම් ගසේ ගෙඩි කන ලෙසට  යක්ශයා ඒව  රවටා ගෙන ඇත්තේ බොරු කීමෙනි. බොරුව ඉපදී ඇත්තේ අප සමගමය. බොරුව දැන් අපට නැතිවම බැරිය. හරියට ඔක්සිජන් වගේය. එය  නඩුහබ කීමට ,දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමට ,පරණ වාහන ලඩියක් තව කෙනෙකුගේ ඇඟේ ගැසීමට  අත්‍යවශ්‍යය, ජීවිතය වාහනයක් නම් බොරුව ඩීසල් පෙට්රල්වැන්න.

දේශපාලනය කරන්නෙකුට, මැති, ඇමති, අගමැති ජනපති වීමට බොරුව අත්‍යාවශ්‍යය. බොරුව නැතිවම බැරිය.උන්ට බොරු කියන්නට ගියා දී ඇත්තේ මැකියාවලීය .

මවුපියෝ කුඩා දරුවන් මෙල්ල කරගන්නේ බොරු කීමෙනි දඟ කළොත්  බිල්ලා එනවා යන්න එසේ ප්‍රචලිත බොරුවකි. එකල  කොල්ලො මෙම බොරුවට රැවටී නිහඬ විය. මෙකල වසන කොල්ලො එබඳු බොරු වලින් සමනය කළ නොහැක. ලංකාවෙ විචාරශීලි අධ්‍යාපනයෙන් ලැබෙන  චින්තනය නිසා ඔවුහු සිතති. විමසති.  බිල්ලා පෙන්නාපන්  බිල්ලා පෙන්නාපන් කියමින් හඬති.

බොරුව ටෙලිනාට්‍යයට චිත්‍රපටියට නවකතාවට දැවටු කල්හි එය  පරිකල්පන ශක්තිය ලෙස හැඳින්වේ. විශ්වවිද්‍යාලවලින් බොරුව පිට පනින්නේ ශාස්ත්‍රීය පර්යේෂණ ලෙසය . සාර්ථක පර්යේෂණ ග්‍රන්ථයක් ලිවීම සඳහා  හොඳ පරිකල්පන ශක්තියක් අවශ්‍යය.මැංචෝසන් චාරිකා යන පොතෙහි ඇත්තේ ගල් පැලෙන බොරු හා කයිවාරුය. දැන් දැන් එළියට එන කොවිඩ් සංඛ්‍යා දත්ත වගේය.

සර්වජන ඡන්ද බලයෙන්  හිමි වූ ඡන්ද ලබා ගැනීමට නම් බොරුව අවශ්‍ය ය. මැතිවරණ කාලවලදී එක් එක් පක්ෂ විසින් බොරුව සුමට  කොට වර්ණ ගන්වා එළිදක්වයි. කුඩා පොත් පිංචක් ලෙස ජනතාවට ලැබෙන මෙයට ඡන්ද මැතිවරණ ප්‍රකාශය යැයි  කියනු ලැබේ.

1977 වැනි කාලයේදී  ජේ ආර් ජයවර්ධන මහතා බලයට පත් වූයේ එක් පවුලකට ධාන්‍ය  රාත්තල් අටක්   ලබා දෙනවා යන පොරොන්දුව ලබා  දීමෙනි. ඇට කාමයෙන් මුසපත් වූ ජනයා ජේ ආර් ජයවර්ධන මහතා  බලයට පත් කළේය. එතුමෝ දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කොට මළේය.ජනතාවට ලබා දුන්න  ඇටයක් නැත.ඇට අටක් බලාපොරොත්තුව  සිටි අයට අඩු තරමින් ඇට  දෙකක්වත්  ලැබුනේ නැත.

විධායක ජනාධිපති ක්‍රමය රටට අයිතිකර හෙයින් එය  වහාම අහෝසි කරන්නේ යැයි වහසි බස් දෙඩූ චන්ද්‍රිකා මැතිනිය විධායක ජනාධිපති ක්‍රමය ට  වහං වී මේ රට පාලනය කළේය.  දූෂිතයන් ගෝල්පේස් පිටියට ගෙන්වා උපරිම දඬුවම් ලබා දෙන බව චන්ද්‍රිකා මැතිනිය  ප්‍රකාශ කළේය .නිදා ගැනීම කෙසේ වෙතත් හිටගෙන සිටිමේ පොට් එකත් අමාරුවෙන් බේරාගත් බණ්ඩාරනායක මහතා ෂැංග්‍රිලා හෝටලයේ අගුපිලක ට වී සිය දියණිය දූෂිතයන් ගෝල්ෆේස් පිටිය ට  රැගෙන එන තෙක් බලා ගත් වනම බලා සිටී.

ඇප බැදුම් හා පාස්කු මහ මොළකරුවන් ට  දඬුවම් ලබා දෙන දිනය දැන් ප්‍රකාශයට පත් කොට ඇත .එය සිදු වන්නේ මෙකප අවසානයේ හෙවත් ලෝක විනාශය සිදු වන දිනයේදීය.

කටඋත්තරයක් ලබා ගැනීම සඳහා උසාවියට කැඳවූ දිනයේ ම සමහර ඇමතිවරුන්ට නයි කා  අසනීප වන්නේය.නයා උසාවියට කැඳවීමට නෛතික ප්‍රතිපාදන නැති හින්ද නඩුව ද ලත් තැනම ලොප් වෙයි .

 රාජ්‍ය ඇමතිවරයකු ගිනි අවියක් ද රැගෙන  බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට තර්ජනය කොට යකා නැටූ බව  මුලු ලොවම දනී . රාජ්‍ය ඇමතිවරයා ද එය පිළිගනී. බන්ධනාගාර කොමසාරිස්වරයා තමුන්  පිළිබඳ හාංකවිසියක් වත් නොදන්නා බව පවසයි.

බොරුව ජනගත වූ සමාජයක බොරුවෙන් ජීවත් වන මිනිසා අනේකවිධ සුඛවිහරණ විඳ යෙහෙන්  මිය යති.

සත්‍යයේ ම ඇලී ගැලී සත්‍යවාදීව ජීවත් වන මිනිසා දුක්ඛ දෝමනස්සයන් විඳ දළ දළ අහරකින් යැපී රක්තහීනතාවයෙන් පෙලෙයි. රෝහලක අගුපිලක මියයයි.

 සත්‍යවාදීව ජීවත් වන මිනිසා මරණින් මත්තෙහි  සුගතියක උපදින්නේ යැයි  යන බොරුව තවමත් ජීවත් වෙයි.

Comments

Popular posts from this blog