අත්හළ යුතු වේවැල් කෝටු

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට දඬුවම් කළ ගුරුවරයෙකු වරදකරුවෙකු කරමින් ලබාදුන් නඩු තීන්දුවක් ගැන ඉකුත් 2021  02 28 වැනි දින අනිද්දා පුවත්පත වාර්තා කළේ ය. මෙම සිද්ධිය කරළියට පැමිණි එක් සිද්ධියක් පමණි. ප්‍රසිද්ධ නොවූවද , පාසල් වල හා නිවෙස් වල දී ශාරීරික වධ බන්ධන වලට ලක්වන දරුවන් සම්බන්ධ සිද්ධි බහුලය.

ගුරුවරුන් හා දෙමාපියන් දරුවන්ට ශාරීරික දඬුවම් කරන්නේ ඇයි ? දරුවන් දෙමාපියන් හා වැඩිහිටියන් විසින් පනවා ඇති නීති රීති හා ආචාරධර්ම පද්ධති නොතකා ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ ඇයි ද යන වග පිළිබද කෙටියෙන් විමසීම මෙම ලිපියේ අරමුණයි.

දෙමාපියන් දරුවන්ට  දඬුවම් කිරීමට පෙළඹෙන්නේ දරුවන් හික්මවා ගැනීමටය. නොකළ යුතු යැයි සිතෙන දේ වලින් වළක්වා යහපත් වූ සමාජ සම්මතයට අනුගත වන චර්යාවන් දරුවන් තුළ රෝපණය කිරීමේ උපක්‍රමයක් ලෙසය.  දරුවෙකු විසින් වරදක් සිදු වූ විට එය වරදක් බවට දරුවාට අවබෝධ කොට,  දරුවා හැඩගස්වා ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමකි. එම කාර්යයේ දී දරුවා මානසික හා ශාරීරික පීඩාවට පත් වන අයුරින් දඬුවම් දීමෙන් සිදු වන්නේ යහපත් වූ චර්යාවන් ඇති දරුවෙක් බිහි වීම නොව ඉච්ඡාභංගත්වයට පත් වූ හීන පෞරුෂයකින් යුත් පුද්ගලයෙකු බිහි වීමය.

පහත සඳහන් හේතු නිසා වැඩිහිටියන් දරුවන්ට දඬුවම් කිරීමට පෙළඹේ. ඒවා නම් විනය යන සංකල්පය පිළිබඳ ඔවුන් තුළ ඇති අල්ප අවබෝධය, විවිධ වයස් කාණ්ඩවලදී දරුවන් හැසිරෙන ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම, දරුවන් විසින් ආයතනගත ආචාරධර්ම පද්ධති උල්ලංඝනය කිරීම සඳහා බලපාන හේතු පිළිබඳ ඇති අනවබෝධය  හා සහකම්පනයෙන් යුතුව  දරුවාගේ චර්යාවන් දෙස බැලීමට ඇති නොහැකියාව යන කරුණු වේ. මාඡරී හා බොසර් විසින්  විනය සංකල්පය පිළිබඳ සරල නිර්වචන හතරක්  ඉදිරිපත් කර ඇත.

 සදාචාරාත්මක හා මානසික සංවර්ධනය, ආත්ම සංයමය, නීති රීති වලට හා අධිකාරී බලයට අවනත වීමේ හුරුව හා ශාරීරික දඩුවම් වලින් හික්මවීම වේ. මෙයින් අධිකාරී බලයට අවනත වීමේ හුරුව  හා ශාරීරික දඩුවම් වලින් හික්මවීම යන නිර්වචන බැහැර කළ යුතුය.

  වත්මනෙහි දී  විනය යන සංකල්පය පැහැදිළි කිරීම සදහා   භාවිතා වන විද්‍යාත්මක නිර්වචනයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එනම් හරි වැරැද්ද කුමක්ද යන්න පිළිබඳ දරුවා ගේ අවබෝධය වැඩි දියුණු කොට තමන් කරන ක්‍රියාවන් පිළිබඳව වගකීම තමන් විසින්ම දැරීමට දරුවා පුරුදු පුහුණු කිරීම යන්නයි. මෙය විනයවත් දරුවෙකු බිහිකිරීමේ  ලා මූළාරම්භය වේ. හරි වැරැද්ද කුමක්ද යන්න පිළිබඳ දරුවා ගේ අවබෝධය වැඩි දියුණු කිරීම සදහා වැඩිහිටියන් හා ගුරුවරුන් විසින් යොදා ගන්නා ප්රවේශය වැදගත් වේ. දරුවා වැරැද්දක් කළ විට දරුවා සමග කතා කොට දරුවාට තමන් කළ වැරැද්ද අවබෝධ වන සේ ප්‍රශ්න ඇසීමෙන් දරුවාට  ඔහු හෝ ඇය විසින් කළ ක්‍රියාවෙහි  උචිත අනුචිත භාවය පිළිබඳ  අවබෝධ කර ගැනීමට ඉඩ සැලැස්විය හැක. මෙය සිදුවිය යුත්තේ නිදහස් සාමකාමී වටපිටාවකය. විදුහල්පතිනිය විසින් වාඩි නොවන ලෙස අවවාද කොට තිබූ බෝක්කුවක්  මත දරුවා වාඩිවී සිටීම දරුවා විසින් කර ඇති වරදයි. දඩුවම  සඳහා වූ නිමිත්තයි.ශාරිරික දඩුවම් ලබා දීමට පෙර කළ යුතුව තිබු කාර්ය බොහෝය. බෝක්කුවක් යනු පාරේ වතුර බැස යාමට හා  වාහනවල හා පදිකයින්ගේ ආරක්ෂාව සඳහා ඉදිකර  ඇති නිර්මිතයක් බවත් එය වාඩිවීම සඳහා ඉදි කළ එකක් නොවන බවත් එසේ වාඩි වීම අනතුරුදායක බවත් ගුරුවරයා හා දරුවා අතර සිදුවන සාකච්ඡාවක් තුළින් දරුවාට අවබෝධ කරගැනීමට ඉඩ සැලැස්විය යුතු ව තිබිණි. පාසල් නිල ඇඳුමකින් සැරසී පාරේ බෝක්කුවක වාඩිවී සිටිම පාසැලට මෙන්ම සිසුවාට  ද අවමානයක්  ගෙන දෙන කාරණයක් බව ද දරුවාට අවබෝධ කොට දිය යුතුව තිබිණ. දරුවා ඇතැම් විට මෙම ක්‍රියාවේ නියැලෙන්නට ඇත්තේ  ඉහත සඳහන් දේ පිළිබඳව ඔහු තුළ ඇති දුරවබෝධය නිසාද  දරුවෙකු නිසාම හටගත් නොමේරූ අත්දැකීම් නිසාද විය හැක.

 දරුවන්  අතින් වැරදි සිදුවීමට  හේතු කාරක වන කාරණා හතරක් ගැන මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. නොමේරූ පුද්ගල සම්බන්ධතා, දරුවා තුළ ස්වභාවයෙන් ම පවතින කුතුහලය හා ක්‍රියාශීලී බව, පරිණත නොවූ සන්නිවේදන කුසලතා, හැඟීම් පාලනය කරගත නොහැකි වීම හා  දරුවා තුළ තමා වටා කේන්ද්‍ර වූ  පෞරුෂයක් පැවතීම යන කරුණු ය. ගුරුවරුන් දරුවන්ට ශාරීරික දඬුවම් දීමට පෙළඹෙන්නේ ගුරුවරුන්ද ඉහතින් සඳහන් කළ දුර්වලතා වලින් පෙළෙන බව නිසා යැයි සිතේ. ගුරුවරුන්ට ලබාදෙන වෘත්තීය අධ්‍යාපනයේ දී අධ්‍යාපන මනෝවිද්‍යාව අන්තර්ගත වී  ඇති නමුදු  එම විෂය නිර්දේශය නව දැනුමෙන් පෝෂණය වී නොමැති බව පෙනේ. විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම තුළින් මානසික විකෘතිතා වලින් තොර පරිනත මනසකින් යුත් ගුරුවරයෙකු බිහිකර ගතහැකි බව  පෙන්වා දේ . පාසැල තුල සාමකාමී  පරිසරයක් පවත්වාගෙන යාම සදහා එවන් ගුරුවරුන් ගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ.එවන් නිදහස් සාමකාමී පරිසරයක් තුළ දරුවාට නිරවුල් මනසකින් යුතුව විෂය කරුණු වටහා ගැනීමට පමණක් නොව මනා පෞරුෂ වර්ධනයක් ඇති කර ගැනීමේ අවස්ථාවද හිමිවේ.

හිංසාවට ලක්වූ දරුවා වැඩිහිටියෙකු බවට පත්වු පසු තෙරපා ගෙන සිටි හිංසාව සමාඡයට මුදාහරී. සමාඡයේ වෙසෙන සෙසු ඡනයාට පරිසරයේ ඇති ගහට කොලට රුදුරු ලෙස හිංසාව  මුදා හරින්නේ හිංසාවට ලක් වූ අයමය.

කුලරත්න සූරිය අරච්චි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Comments

Popular posts from this blog