අධ්‍යාපනයෙන් පිටු දැකිය යුතු මිථ්‍යාව

මිථ්‍යා විශ්වාසයක් කළ හදියක් ගැන මේ දිනවල කතාබහට ලක්වේ. මිථ්‍යා විශ්වාසයන් සමාජයට අනර්ථයක් ගෙන දුන්නේ අනාදිමත් කාලයක් සිටය. ගැලීලියෝ (1564–1642) සිරගත කළේත්, සොක්රටීස් (470 – 399 BC)නම් වූ දාර්ශනිකයාට  වස දී මරා දැමුවේත්, තස්ලිමා නස්රීන්, දීපා මෙත්තා වැනි නිර්මාණ කරුවන් ගර්හාවට ලක් වූයේ ත්, සල්මාන් රුෂ්ඩි නම් වූ අසහාය ලේඛකයා මූලධර්මවාදී අයතුල්ලා කොමෙයිනි ගේ මරණීය දණ්ඩනයට ලක්ව සැඟව ජීවත්වීමට සිදුවූයේත් ඡරාඡීර්ණව   තවමත්   ඡන සමාජයේ පවතින  පැණි තැවරූ විෂක් බඳු මිථ්‍යාව නිසාය. මිථ්‍යාව  යන වචනය පිළිබඳ  ඇති නිර්වචන වල සම්මිශ්‍රණයක් විමසා බලන විට ගොඩනඟාගත හැකි පොදු නිර්වචනය වන්නේ මිථ්‍යාව යනු  යමෙකුට සිය ජීවිතය, පරිසරය හා එහි සංසිද්ධි, විවිධ පුද්ගල චර්යාවන්  වැනි දේ දෙස නිවැරදි ලෙස බැලීමට නොහැකි චින්තනයි. සංස්කෘතිය ආගම වැනි දේ තුළින් සවිඥානකව හෝ අවිඥානකව රෝපණය වූ අන්ධ විශ්වාසයන් තුළින් බැහැරව, විචාරාත්මක වූද විද්‍යාත්මකවු ද  ඇසකින් ලෝකය දෙස බැලීමට ඇති නොහැකියාවයි.

එබඳු විචාරශීලී චින්තනයකින් පෝෂණය වූ නිවැරැදි දැක්මක් බොහෝ අය තුළ නො පිහිටීමට හේතුවන කරුණු බොහෝය. සංස්කෘතිය විසින් උරුමකර දෙන මිථ්‍යාව, ආගමික සංස්ථා මගින් වැරදි ලෙස   අර්ථකථනය කරන ලද ආගම් නිසා ඇතිවූ මිථ්‍යා විශ්වාස, පාසල් සංස්කෘතිය හා විධිමත් අධ්‍යාපනය තුළින් ලබා දෙන මිථ්‍යාව  එම කරුණු වලින් සමහරකි. විචාරශීලී පුද්ගලයෙකු බිහි කිරීමෙහිලා පවුල් සංස්ථාවේ,  පාසල් අධ්‍යාපනයේ හා ආගමික ආයතන වල දායකත්වය කවරේ ද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

දෙමව්පියෝ දරුවන්ට වඩා වැඩිමහල් විය යුතුය. ඒ නිසාම තමන් විසින් අවිචාරවත් ලෙස එල්බගෙන සිටින අවිචාරවත් මිථ්‍යා  භාවිතයන් බාල පරම්පරාවට පවරා දීම සිදුකළ යුතු නොවේ. කළ යුතු වන්නේ එසේ එල්බගෙන සිටින මිථ්‍යා  භාවිතයන් වලින් මිදීමට නොහැකි නම් ඒවා ඵලදායි ලෙස අර්ථදක්වා මතු පරම්පරාවට දායාද කිරීමයි.

පන්සලේ බෝධියෙන් සංකේතවත් වන්නේ බුදුන් වහන්සේ විසින් පවා අනුදැන වදාළ පරිසරයේ ඇති  වන සම්පතෙහි වටිනාකම බවත්  සෙසු ගහකොළට ද බෝධියට දක්වන ගරු සරුවම දක්වා සැළකිය යුතු බව ද පෙන්වා දිය යුතුයි. කියන දේ ඇසෙන දේ පිළිබඳ විමසන  මිනිසුන් බිහි කළ යුතුය.

පන්සලේ බෝධියේ විභාග අපේක්ෂකයකුගේ නම හා  අංකය ලියූ කොඩියක් එල්ලීම, යාතිකා  කොට මැතිරූ පෑනක් විභාගයට ලිවීමේදී භාවිත කිරීම විභාගයකින් සමත්වීමට ඉවහල් නොවන  බවත්, කළ යුතු වන්නේ විධිමත් කාලසටහනකට අනුව උගත් දේ පුනරීක්ෂණය කොට තමන්ගේ විශ්වාසය ගොඩ නගා ගැනීම බව පෙන්වා දීමයි.

පාසල් අධ්‍යාපනය විෂය කරුණු සම්ප්‍රේෂණය කිරීමට පමණක් සීමා වී ඇත. එම විෂය මාලාව තුල ඇති සැඟවුණු විෂය මාලාව විමසීමට ලක් නොකෙරේ. ගහ කොල ගැන සතා සීපාවා ගැන, ඒවායේ ප්‍රයෝජන හා  ඒවායේ අභ්‍යන්තර ක්‍රියාවලි සවිස්තරාත්මක ලෙස ඉගැන්වේ.  ඒවා විෂය කරුණු ලෙස මතකයේ ගබඩා කෙරේ. මෙසේ ගබඩා කරගන්නා දැනුම විභාග වලදී වමාරා ඉවත් කෙරේ ,මිනිසා හා  ශාක ප්‍රජාව තුළ  පවත්නා  බැඳීම  හා ඒ සම්බන්ධය තුළ ඇති අසිරිය සෞන්දර්යාත්මක ලෙස විසීමට ලක් නොකෙරේ. ගහකොළ සතා සීපාවා  මිනිසුන් ගෙන් වියුක්ත වූ ප්‍රපංචයක් ලෙස දැකීමට පුරුදු කෙරේ. මේ දැක්මම මිථ්‍යාවකි.  මෙබදු චින්තනයකින් යුක්තවූ මිනිසා පරිසරය පරිභෝඡන භාණඩයක් ලෙස පමණක් ම සිතයි, විනාශ කරයි. මේ දැක්ම ද මිථ්‍යාවකි.

ගුරුවරයා හා ශිෂ්‍ය ප්‍රජාව අතර පවත්නා ගෞරවනීය සම්බන්ධය භක්තිය මත පදනම නොවිය යුතුය, ශිෂ්‍ය ගුරුවරයාට ගරු කරන්නා මෙන්ම ගුරුවරයාද ශිෂ්‍යයාට ගරු කළ යුතුය.ගුරුවරයා සියල්ල දත්තෙකැයි යන මිථ්‍යා වෙන්ද  බැහැරවිය යුතුය. ඉගෙන ගැනීම යනු ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයේම සාමූහික ප්‍රයත්නයක් බව සනාථ වන සේ ගුරුවරයා හැසිරිය යුතුය. ‍ප්රශ්ණ අසන, විමසන, ගුරුවරයා විසින් පවසන කරුණු වල වුවද වරදක් පෙන්වා දෙන ශිෂ්‍ය පරම්පරාවක් බිහි වන්නේ එබඳු වටපිටාවක් තුළ ය.කරුණු විමසීමට ලක් කෙරෙන ශිෂ්‍යාට අවමන් කොට කොන්කර නොතැබිය යුතුය. විශ්වවිද්‍යාල තුළ කෙරෙන,  සිතන විමසන විද්‍යාර්ථීන් විභාගවලදී ඇන්න වීම නොකළ යුතුය.එබදු පරිසර තුළ විචාරශීලී පුද්ගලයින් බිහි නොවේ.

ආගමික සංස්ථා ද මිථ්‍යාව  පෝෂණය කරන සංස්කෘතියක් වෙනුවට සිතීම විමසීම පෝෂණය වන වටපිටාවක් නිර්මාණය කළ යුතුය.  සෑම ආගමකම දර්ශනය වසා පැතිර ඇති මිථ්‍යාව  පිටු දැක එවායේ ඇති හර පද්දතීන්  හා වටිනාකම් ජීවිතයට, ආර්ථිකයට,  සමාජ හා  පුද්ගල සංවර්ධනයට ගලපා ගැනීමට කියාදීම තුළින් සිතන විමසන පුද්ගලයෙකු බිහි කළ හැක.

ආගම තුල උගන්වන දේ ද විමසීමට ලක් කළ හැකි බව පෙන්වන කදිම උදාහරණයක්  අසහාය ලේඛක සල්මාන් රූෂ්ඩි විසින් රචිත ඡොශප් ඇන්ටන්(Joseph Anton  ) යන ආත්ම චරිතාපදානයේ  එයි. විවාදාත්මක පොතක් ලිවීම නිසා(Satanic Verses)  මරණ වරෙන්තුවක් ලැබ සැගවී සිටි කාලය ගැන ලියැවෙන මෙහිදී ඔහු ශුද්ධ වූ කුරානයේ අන්තර්ගතයේ නිරවද්‍යතාව පිළිබඳ තාර්කිකව විමසයි.පර්යේෂණාත්මක ඇසකින් බලයි.   ඔහුට මරණීය දණ්ඩණය පැනවෙන්නේ පරම්පරාවෙන් ආ  සම්මතය ශාස්ත්‍රානුකූලව පරීක්ෂකයෙකු ලෙස විමසීමට ලක් කළ නිසාය. කිසිවෙකු විසින් වත් ප්රශ්න නොකළ යුතු යැයි අණ කොට තිබූ කුරානයේ සත්‍ය තවය අභියෝගයට ලක් කිරීමයි.

මාර්ටින් වික්‍රමසිංහ සිය බවතරණය නම් වූ විවාදාපන්න නවකතාව තුළින් බුදුන් වහන්සේ දෙවියෙකු හෝ ඉන්ද්ර ඡාලිකයෙකු නොව අත්දැකීම් තුලින් ජීවිතය උකහා ගත්  දාර්ශනිකයකු ලෙස දකී. සම්මතයෙන් ඉවත් වීම නිසාම ඔහු බොහෝ බෞද්ධ භික්ෂූන්ගේ ගර්හාවට ලක්විය.

නිදහස් අදහස් නොබියව පැවසීමේ පරිසරයක ඇති වටිනාකම මින් මොනවට පැහැදිළි වේ.

මිථ්‍යාව තුරන්කොට සත්‍යය හා විචාරශීලී ජනතාවක් බිහි කිරීම සදහා  දෙමාපියන්ට, පාසලට හා ආගමික සංස්ථාවන්ට  කළ හැකි දේ බොහෝය.  එසේ නොකළහොත් අහිංසක ජනයා වංචාකාරයින්ගේ හා කපටි දේශපාලකයින්ගේ ගොදුරක් බවට පත්වීම තවදුරටත් සිදු වනු ඇත.

ඇතැම් මිථ්‍යාවන්  සංස්කෘතිය හා බද්ධ වී පවතී. ඒවායින් මිදීම  අභියෝගාත්මක නම් කළ යුත්තේ එබඳු දේ සංවර්ධනාත්මක ලෙස අර්ථ දැක්වීමය.

කුලරත්න සූරිය ආරච්චි

 

Comments

Popular posts from this blog